වසර 175 ක් පැරණි රාජකීය ආසියාතික සංගමය

0
582

ආචාර්ය මල්ලිකා කරුණාරත්න

ගරු භාණ්ඩාගාරික, රාජකීය ආසියාතික සංගමය

Email – malkaru@yahoo.com

දිවයින, බදාදා අතිරේකය, පිටුව 11, 2019-8-7.

1815 කන්ද උඩරට ගිවිසුමින් ලංකාවේ රාජ්‍ය බලය බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගැනීමත් ඉන්පසුව බ්‍රිතාන්‍යය කිරීටය යටතේ රාජ්‍ය පාලනය සිදුවීමත් හේතුවෙන් සියවස් කිහිපයකට පසුව ලක්බිම තුළ සාමකාමී සමාජ පරිසරයක උදාව සනිටුහන් විණි. වරින් වර ප්‍රාදේශීය මට්ටමේ නායකත්වය ඔස්සේ නොසන්සුන්තාවයන් උද්ගත වුවද සමස්තයක් වශයෙන් ගත් කළ බ්‍රිතාන්‍යය පාලන සමය මෙරට ආර්ථික, සමාජීයය, දේශපාලන යන කේෂේත්‍රයන්හි පිබිදීමට හේතුකාරක වූ සාධනීය පරිසරයක් නිර්මාණය විය. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ප්‍රබුද්ධ ජනයාගේ කැපවීම සහ නොමසුරු දායකත්වය ඉතා තීරණාත්මක සාධකයක් ලෙස බලපෑ බවත් පෙනී යයි.

මෙරට දේශීය සමාජ සංස්කෘතික පරිසරය වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමානුකූලව විකාශනය වූ බවට සාක්ෂි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය පාලකයින් විසින් ඒ පිළිබඳ ප්‍රාමාණික තොරතුරු ගවේෂණය, විශ්ලේෂණය, ලේඛනගත කිරීම සහ එම තොරතුරු අනුසාරයෙන් මෙරටේ ආර්ථික සංවර්ධනය සැලසුම්කිරීමට සහ ඒ අනුව යටත් විජිතයේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට ද පියවර ගනු ලැබීය.

බ්‍රිතාන්‍යය පාලන සමයේ ප්‍රථම වසර පනහ එනම් 1850 දක්වා වූ කාලය තුළ යට කී සංවර්ධනාත්මක ප්‍රයත්නයට උරදුන් ප්‍රමුඛ විද්වත් ආයතනය ලෙස කැපී පෙනෙන්නේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවයි. (ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය 1992 අංක 06 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කොට ඇත.) 1845 පෙබරවාරි මස 07 වන දින එවක යටත් විජිත විනිසුරු ජේ. ස්ටාර්ක් (Hon. Justice J. Stark) මැතිතුමාගේ සභාපතිත්වයෙන් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව පිහිටවනු ලැබීය. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ පාලනයට නතු වූ ඉන්දියාව, බුරුමය, නේපාලය සහ චීනය යන රටවල අතීත තොරතුරු ගවේෂණය සඳහා එම රටවල ද ආසියාතික සංගම් පිහිටවනු ලැබූ අතර ඉන්දියාවේ කල්කටා සහ බොම්බාය යන නගරවල එවැනි සංගම් ප්‍රථමයෙන්ම පිහිටවනු ලැබ ඇත. ආසියාතික සංගම් ඔස්සේ ගවේෂණය කරන ලද තොරතුරු තවදුරටත් පර්යේෂණයන්ට යොමු කිරීම සඳහා මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයේ රාජකීය ආසියාතික සංගමය නමින් ලන්ඩන් නගරයේ රාජ්‍ය මට්ටමින් උසස් ආයතනයක් ද පිහිටවනු ලැබූ අතර ඉන්දියාව, බුරුමය, ලංකාව, නේපාලය වැනි රටවල පිහිටවනු ලැබූ ආසියාතික ගවේෂණ ආයතන එම මව් සංගමයේ ශාඛා ලෙස ක්‍රියාත්මක විය.

ලංකා රාජකීය ආසියාතික සමිතියේ ලේඛන අනුව කොළඹ නගරයේ 1820 දී පිහිටවනු ලැබූ කොළඹ ශාස්ත්‍රීය සංගමය (Colombo Literary Society) රාජකීය ආසියාතික සංගමයේ තිඹිරි ගෙයයි. 1845 මැයි මස 01 වන දින පවත්වනු ලැබූ එම සංගමයේ ප්‍රථම මහා සභා රැස්වීමෙහි දී ප්‍රකාශයට පත් කරන ලද පරිදි රාජකීය ආසියාතික සංගමයේ අරමුණ වන්නේ,

“මෙරටවාසී අතීත මෙන්ම වර්තමාන ජනයාගේ සමාජ තත්වයන් සහ ඔවුන්ගේ ඓතිහාසික, ආගමික, ශාස්ත්‍රීය, කලා ශිල්පාදී කෞශල්‍යයන් පිළිබඳව ගවේෂණය කිරීම ඇතුළුව මෙහි භූ සම්පත්, දේශගුණය ඇතුළු ශාඛා – සත්ව ප්‍රජාව සහිත ජීවි අජීවි පරිසරය අධ්‍යයනය  කිරීම යනුවෙනි.”

මෙම අරමුණ ඔස්සේ ක්‍රියාකාරීවීම පිණිස රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවෙහි සාමාජිකත්වය ලැබූවන් අතර විවිධ තනතුරුධාරී විදේශීය උගත් බුද්ධිමත් පිරිසක් විය. මෙම සංගමයේ අනුශාසකත්වය යටත් විජිතයේ ආණ්ඩුකාරවරයා විසින් පවරා ගනු ලැබීය. එම හේතුවෙන් සංගමයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙන යාම සඳහා නිසි රාජ්‍ය අනුග්‍රහය ලැබීම ඉතා ප්‍රබල ගාමක බලවේගයක් වූ බවද පෙනී යයි.

ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය පාලනය සඳහා පත්කරනු ලැබූ ලංකා සිවිල් සේවාවේ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය මුදලිවරුන් සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබූ උගතුන්ද මෙරට වැසියන්ගේ අතීත දස්කම් විස්කම් සැඟවී පැවති ඥාණ සම්භාරය මතුකර ගැනීම සඳහා ඉමහත් කැපවීමෙන් හා උද්යෝගයෙන් ක්‍රියා කරන ලද  බව පෙනේ. එම තොරතුරු විද්වත් සංවාදයට යොමු කිරීම හා ඉන් අනතුරුව ලේඛනගතකිරීම සහ දිවයිනේ අර්ථික හා සමාජ සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීම සඳහා සුදුසු ආයතනික රාමුව හා ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමේ කර්තව්‍යයන්ට මූලිකත්වය දෙනු ලැබූයේ රාජකීය ආසියාතික සංගමයයි. මෙහි මූලිකත්වයෙන් පිහිටවනු ලැබූ ආයතන අතර කැපී පෙනෙන්නේ කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, කොළඹ යුනිවර්සිටි කොලීජිය වැනි ආයතන වේ. 

            අතීත තොරතුරු ගවේෂණ ක්‍රියාදාමයේ ඉතා සුවිශේෂී අංශයක් ලෙස හඳුනාගනු ලැබූයේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථාන හා ප්‍රාදේශීය ප්‍රභූවරුන් භාරයේ සුරක්ෂිතව තැන්පත් කොට තිබූ පුස්කොළ පොත්හි ලේඛනගත කළ බුදුන්වහන්සේ වදාල ධර්මයයි. ඒ අනුව 1860 න් පමණ පසුව එළඹෙන සියවසක පමණ කාලය තුළ පාලි භාෂාවෙන් ලියැවුණු ත්‍රිපිටකය සහ ඒ සඳහා සැකසුණු අටුවා පොත් ආශ්‍රිත ධර්ම සාහිත්‍යය ශාස්ත්‍රීය ලේඛන වශයෙන් සංස්කරණය සහ විදෙස් භාෂාවන්ට පරිවර්තනය කිරීම රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව විසින් තමන් වෙත පවරා ගන්නා ලද ඉතා විශිෂ්ට වූ කාර්යභාරයක් ලෙස සඳහන් කළ යුතුය. මෙම කාර්යයට උරදෙනු ලැබූයේ 1864 දී ලංකා සිවිල් සේවාවට එක් වූ රීස් ඩේවිස් මැතිතුමා විසින් වන අතර එම මැතිනිය ප්‍රමුඛ දේශීය විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ප්‍රභූ ගිහි පිරිස්  පිළිබඳ තොරතුරු මෙම සංගමයේ සුරක්ෂිතව තැන්පත් කොට තිබේ.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට හෙළිකෙරෙන බොදු ජනතාවගේ අභිවන්දනයට පාත්‍ර වූ පාලි භාෂාවෙන් ලේඛනගත වූ ත්‍රිපිටක ධර්මය විදෙස් පාඨකයාගේ පරිහරණය සඳහා සකස් කිරීමේ ගෞරවය හිමි වනුයේ රීස් ඩේවිස් පඬිතුමාටය. මෙරට සංඝ පීතෘවරයින්ගෙන් පාලි භාෂාව ඉගෙන පුස්කොළ පොත්හි සඳහන් ධර්ම කරුණු සංස්කරණය, රෝම අකුරින් ලේඛනගතකිරීම සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම යන ක්‍රියාවලිය සඳහා භාෂා විශාරද උගත් පඬිවරුන්ගේ සේවය ලබා ගැනීමට මූලිකත්වය ගනු ලැබූයේද රීඩ් ඩේවිස් පඬිතුමා විසිනි. එතුමා 1868 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ යාව ජීව සාමාජිකත්වය ලැබූ අතර, ලන්ඩන් නුවර පාලි ග්‍රන්ථ සමාගම (Pali Text Society, PTS) මඟින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ මුද්‍රණය කොට ලෝක ප්‍රජාවට බුදු දහම අධ්‍යයනය සඳහා ඉඩහසර සාදා දීම එතුමන් විසින් ගනු ලැබූ දූරදර්ශී ප්‍රශංසනාත්මක පියවරක් බව සඳහන් කළ යුතුය. බෞද්ධ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙන පාලි ත්‍රිපිටකය සකස්වන්නේ රාජකීය ආසියාතික සංගමය විසින් දියත් කරන ලද බුදු දහම ගවේෂණය, ධර්ම ග්‍රන්ථ සංස්කරණය, පාලි භාෂාවෙන් මුද්‍රණය කිරීම යන ක්‍රියාවලියේ අග්‍ර ඵලය ලෙස බවට වත්මන් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීම වත්මන් යුගයේ අවශ්‍යතාවයකි. රාජකීය ආසියාතික සංගමය එම කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කර ඇත.

කොළඹ අගනගරයේ ආනන්ද කුමාරස්වාමී  මාවතේ පිහිටුවා ඇති මහවැලි කේන්ද්‍ර ගොඩනැඟිල්ලේ පළමු මහල රාජකීය ආසියාතික සංගමයේ මූලස්ථානය වේ. එහි ලේඛණගතව තිබෙන තොරතුරු ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සකස්කරන ලද ලියවිලි වලින් සමන්විත වන අතර ග්‍රන්ථ 12000 කින් සමන්විත වටිනා පුස්තකාලයක් ද පවත්වා ගෙන යනු ලැබේ.

හෙළයේ සැඟවුණු දස්කම් විස්කම් පිළිබඳව වත්මන් පාඨක ජනතාව දැනුවත් කිරීමට රාජකීය ආසියාතික සංගමයේ 175 වසර සැමරුම වෙනුවෙන් සැලසුම් කරනු ලබන වැඩ පිළිවෙළෙහි ප්‍රධාන අංගයකි. විශේෂයෙන්ම ජාතීන් අතර සමගිය, සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව විවිධ විදේශීය රාජ්‍යයන් විසින් ව්‍යාපෘති සහ වැඩසටහන් සංවිධානය කරනු ලබන මෙවන් අවධියක එම අරමුණ පෝෂණය කිරීම සඳහා ප්‍රමුඛ කර්තව්‍යයක් කිරීමේ හැකියාව මෙන්ම යුතුකමද රාජකීය ආසියාතික සංගමය සතුව පවතී. ඒ සඳහා වූ සැලසුම් සහගත වැඩසටහනක් දැනට සකස් වෙමින් පවතින අතර එය ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන විසින් නිසි අනුග්‍රහය ලබා ගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ඉස්මතු කර දැක්වීම සඳහා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය විසින් ගනු ලබන ප්‍රයත්නයන් විශිෂ්ට බව සඳහන් කළ යුතුය.

            වර්තමාන සමාජයේ සංදර්භය තුළ පාසල් සිසුන් ඇතුළු පාඨක ප්‍රජාව පොත – පත පරිශීලනය කිරීමෙන් දුරස්ථ වන බවක් පෙනී යයි. රාජකීය ආසියාතික සංගමයේ පරමාර්ථය වන්නේ විශේෂයෙන්ම ගුරු-සිසු සහිත පාසල් ප්‍රජාව සඳහා අතීත දස්කම් විස්කම් පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා සුදුසු පරිසරයක් සකසා දීමයි. ඒ සඳහා තොරතුරු ලබා දීම පිණිස සුවිශේෂ වෙබ්  අඩවියක් සකස් වෙමින් පවතී. එමෙන්ම මෙරට විද්වත් ප්‍රජාව නියෝජනය කරනු ලබන විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ද රාජකීය ආසියාතික සංගමය සමඟ සමීප සබඳතාවයක් ගොඩ නංවා ගැනීමට සුදුසු ප්‍රවේශයක් අනුගමනය කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබේ. එමෙන්ම ආගම්, භාෂා භේදයකින් තොරව දේශීයව මෙන්ම විදේශයන්හී ද ජීවත් වන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත සියලු පුරවැසියන්ට ද සමීප විය හැකි ආයතනයක් ලෙස රාජකීය ආසියාතික සංගමය සමාජගත කිරීම 175 වැනි වසර සැමරීම සංගමයේ අපේක්ෂාවක් වන බව සඳහන් කළ යුතුය. එම අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නිළධාරී තන්ත්‍රය ප්‍රමුඛ සියලු පුරවැසියන්ටද රාජකීය ආසියාතික සංගමය සමඟ එක් වන ලෙස සංගමයේ වර්තමාන සභාපති  වාස්තු විද්‍යාඥ ඈෂ්ලී ඩී වොස් මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය විසින් ආරාධනා කෙරේ.